බස්නාහිරෙන් උදා වන දියර පොහොර සංග්‍රාමය

posted in: Uncategorized | 0

රටටම සුබාරංචියක් බස්නාහිර පළාතෙන් දැන් ඇසේ. ඒ ගොවිතැන අතිනි. ස්වයංපෝෂිත කෘෂිකාර්මික ආර්ථිකයක් කරා ඇදෙනා මෙරට කඩිනම් ගමනට ඉන් කදිම අත්වැලක් සැපයේ.

මෙරටට වාර්ෂිකව පොහොර ආනයනයට ඉතා විශාල මුදලක් වැය වේ. ඒ මුදල් කන්දරාව රටේ සංවර්ධනයට යොදා ගත හැකි වේ නම් එයින් රටට ඉමහත් සෙතක් සැලසෙනු නොඅනුමානය. ඒ එක් අතකිනි. තවත් අතකින් මෙරටට රසායනික පොහොර නිසා සිදුවී ඇතැයි කියන අවැඩ කලෙක පටන්ම විද්වතුන් හා පර්යේෂකයන් විසින් මතු කර පෙන්වමින් සිටිති. මේ නව විකල්පය ඊට කදිම පිළියමකි.

දැන් අප හැරෙන්නේ එදෙසටය. සැබැවින්ම බස්නාහිර පළාත මෙරට ආර්ථිකයේ හදවත වැනිය. රටට විදේශ විනිමය ගෙනෙන අපනයන සැකසුම් කලාප අති බහුතරයක් පිහිටා ඇත්තේ එහිය. එපමණක් නො‍වේ, අති විශාල ජනතාවක් රැකි රක්ෂා සඳහා එක්රොක්ව සිටින්නේ කොළඹ, ගම්පහ ඇතුළු එම පළාතේ දිස්ත්‍රික්කවලය. ඒ නිසාම බස්නාහිර ඉහළ ජන ඝනත්වයකින් යුක්ත අතර එහි වගා බිම් ප්‍රමාණය ඉතා සීමිතය.

ඉදින්, එතරම්ම ජනාකීර්ණ බස්නාහිරට අධික ජනගහනයක බර දරා ගැනීමට සිදු වේ. එහිදී මහජනතාවගේ අනේක විධ අවශ්‍යතා නොඅඩුව පිරිමැසිය යුතු වේ. එහිදී පවතින සීමිත සම්පත්වලින් අසීමිත අවශ්‍යතා පිරිමසා ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුවේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ දැන් පෙරට වඩා ආර්ථික දුෂ්කරතාවලට ජනතාවට මුහුණ දීමට සිදුව තිබේ. එසේම රටක් වශයෙන් සෙසු සියලු රටවල් සමඟම ශ්‍රී ලංකාව අලුතින් සිතන්නට සහ අලුතින් වැඩකරන්නට පටන් ගැනීම දෙස් විදෙස් ආර්ථික විශ්ලේෂකයන්ගේ පැසසුමට ලක් වන්නකි. ඉතා ඉහළ උනන්දුවක් ගෙවතු වගාව සම්බන්ධයෙන් බස්නාහිර පළාතෙන් ද දක්නට ලැබෙන බවත් සැබෑවකි.

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් කඩිනම් සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙරට ක්‍රියාත්මකය. ඒ සඳහා බස්නාහිර පළාත් සභාව මඟින් ලැබෙන දායකත්වය ඉමහත්ය. ඒ භාරදුර කර්තව්‍යයේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතාට විශාල වැඩ කොටසක් පැවරී ඇත. මේ ඉන් එකකි. එනම් කාබනික පොහොර ඉවතලන ද්‍රව්‍ය යොදා ගෙන ප්‍රතිඵලදායක අන්තර්ජාතික ප්‍රමිතිගත කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියයි.

සෞභාග්‍යයේ දැක්මේ ඇතුළත් වස විස නැති කාබනික ගොවිතැනට මේ අලුත්ම ප්‍රතිඵලදායක නිමැවුම එක් කරනු ලබන්නේ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනි.

ආණ්ඩුකාරවරයාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මනා පර්යේෂණවලින් ප්‍රතිඵල තහවුරු කරන ලද මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනයෙහි සියලු පර්යේෂණ සහ මෙහෙයුම සිදු කරනු ලබන්නේ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේය. අපේ බිමට, අපේ වගාවට කදිමට ගැළපෙන මෙම විස්මිත කාබනික දියර පොහෙර නිෂ්පාදනය සියයට සියයක් ශ්‍රී ලාංකික වීම අපට ඉමහත් ආඩම්බර විය හැකි කරුණකි.

දැනටමත් මීගමුව – පිටිපන පිහිටි පොහොර නිෂ්පාදනාගාරයක් මෙලෙස රටට ඉටු කොට තිබෙන වැඩ කොටස සුළු පටු නැත. ඒ බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන, සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යංශය හරහාය. එම විෂයයන් භාර දෙපාර්තමේන්තු ලේකම්වරයා වශයෙන් නයනානන්ද නිල්වල මහතා කටයුතු කරයි. සැබැවින්ම මේ කර්තව්‍යයේ නිර්මාතෘවරයා ඔහුය. එමෙන්ම මේ ව්‍යාපෘතිය භාර නිලධාරිවරයා වශයෙන් ශ්‍රීමාල් දසනායක මහතා කටයුතු කරයි.

ඉතා කුඩා ඉඩක අඩු සේවක සංඛ්‍යාවකින් මේ නව කාබනික දියර පොහොර වර්ගය එළි දකී. ඒ සඳහා දැන් නව කර්මාන්ත ශාලාවක් මීගමුව, පිටිපන පිහිටි ජලජීවී වගා සංවර්ධන ව්‍යාපෘති භූමියේ පිහිටුවා ඇත. මේ සඳහා යොදා ගන්නා සියලු අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය වර්ග වේ. එමඟින් දැනටමත් විවිධ බෝග වගා සඳහා අවශ්‍ය කරන ගුණාත්මක බවින් ඉතා ඉහළ කාබනික දියර පොහොර නිෂ්පාදනය කෙරේ. ඒ අතින් බලන කල පරිසරයට ඉවක් බවක් නැතිව මෙතෙක් කලක් එක් කළ අපද්‍රව්‍ය රැසක් දැන් මේ අන්දමින් මුදල් බවට හැර වේ.

ඉතා නවීන පර්යේෂණාගාරයකදී නිරන්තර විද්‍යාගාර තත්ත්ව පරීක්ෂණ යටතේ මෙහි තත්ත්වය සහතික කෙරේ. එසේම එහි ආදර්ශ ගොවිපළ හරහා විවිධ එළවළු, පලතුරු, විසිතුරු ශාක ආදිය යොදා ගනිමින් කළ නිරීක්ෂණවලින් මේ නව කාබනික දියර පොහොරෙහි ඉහළ ප්‍රමිතිය තහවුරු වී තිබේ. ඒ අනුව දැනට ලැබෙන පලදාවට වඩා 25%-50%ත් අතර ඉහළ පලදාව මෙම දියර පොහොර එක් කිරීම හරහා සපයා ගත හැකි බව එම පර්යේෂකයන් තහවුරු කොට තිබේ. දියර වශයෙන් පමණක් නොව, කැට වශයෙන් ද මේ නව කාබනික පොහොර ප්‍රභේදය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. රාජ්‍ය වගකීම යටතේ ඉතා සාධාරණ මිලකට ගොවි ජනතාවට සපයන එහි ඉහළ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ගොවීහු සිය ගණනක් ජීවමාන සාක්ෂිකරුවන් වී සිටිති. බස්නාහිර පමණක් නොව දිවයිනේ සියලු ප්‍රදේශවල විහිදී පැතිරී සිටින වගාකරුවන්ගෙන් ඒ පිළිගැනීම මේ නව කාබනික දියර ‍පොහොරට ලැබීම තවත් විශේෂත්වයකි. දිගු කලක් තිස්සේ නියමු පරීක්ෂණවලට ලක් කොට ලද නිරීක්ෂණ අනුව ගොවීන්ට හඳුන්වා දී තිබීම ඒ සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන හේතුවක් බව මෙහි නියමුවෝ පෙන්වා දෙති.

ඉතා කෙටි කලක් තුළ නියමිත මාත්‍රාවට අනුව ජලය එක් කොට මේ කාබනික දියර පොහොර යෙදූ විට ඉතා ඉහළ ප්‍රතිඵල ලැබේ. දැනටමත් අඹ, කොස්, මඤ්ඤොක්කා, ගොරකා තක්කාලි, පේර, නිවිති, කරවිල පමණක් නොව නොයෙක් විසිතුරු මල් වර්ග ආදියෙහි අස්වැන්න 25%කට වඩා ඉහළ නැංවීමට තරම් මේ නව කාබනික පොහොර සමත් වී ඇත.

“ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ දිනකට බොහෝ අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වෙනවා. එම අපද්‍රව්‍ය කිසිදු කළමනාකාරිත්වයකින් තොරව බැහැර කරනවා. ඇතැම් වෙලාවට අප යොදා ගන්නා කාණ්ඩායේ අපද්‍රව්‍ය නිරතුරුවම ජලාශවලට එක් කරනවා. උදාහරණයක් විදියට දිනකට බස්නාහිර පළාතේ මාළු අපද්‍රව්‍ය එහෙමත් නැතිනම් මාළුන්ගෙන් බැහැර කරන කොටස් විශාල ප්‍රමාණයක් නිරපරාදේ අපතේ යනවා. මෙවැනි දේ යොදා ගනිමින් අපේ මහපොළොවට කරදරයක් නොවන, අපේ වගාවට ඉහළ පලදාවක් ගෙන දෙන, අපේ සිරුරට හිතකර ආහාර නිපදවන කාබනික දියර පොහොරක් නිෂ්පාදනය කිරීමට අප කලක සිට සැලසුම් කරනු ලැබුවා. ඒ වෙනුවෙන් ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන ප්‍රමිතිගත ක්‍රමවේද පිළිබඳව අප අධ්‍යයනය කළා. පළමු කොවිඩ් රැල්ල පැමණීමත් සමඟ අපට නිදහසේ සිතන්නට වගේම පර්යේෂණවල නිරත වෙන්නට කාලයක් ලැබුණා. ඒ කාලයේ අප කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් විදියට මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීමට අපට අවස්ථාව ලැබුණා.” ලේකම්වරයා පවසන්නේ එසේ නිර්මාණය කළ කාබනික දියර පොහොරවල උත්පත්ති කතාවයි. පිටිපන ධීවර පර්යේෂණ ආයතන භූමිය දැන් එකම වගා බිමකි. එය ප්‍රාණවත් කොළ පැහැයෙන් යුතු ගිරා නිලෙන් බබළයි. සෑම ගසකම වැලකම සශ්‍රීක පලදාව පෙනෙන්නට ඇති අතර විසිතුරු ශාකයන් මලින් පිරී ගොසිනි. ඒ වෙනුවෙන් මේ අලුත් පොහොරට ගෞරවය ලැබිය යුතුය.

“අපි මේ පොහොර නිෂ්පාදනය කොට පර්යේෂණ සඳහා ගොවි බිම්වලට ලබා දුන්නා. එහි ප්‍රතිඵලය සියයට සියයක් සාර්ථකයි. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ඇතුළත් වන වස විසෙන් තොර සශ්‍රීක ගොවිතැනක් සඳහා මෙම නව පොහොර විශේෂය විශාල දායකත්වයක් ලබා දෙනවා. ලංකාවේ පොළොව රැකීමටත් මෙම පොහොර විශාල දායකත්වයක් සපයා දෙනවා. වෙනත් පොහොර යෙදීමෙන් ශ්‍රී ලංකාවේ පොළොවේ තිබෙන සශ්‍රීකත්වය නැති වී යන බවට පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. එහෙත් මෙම පොහොර යෙදීම හරහා එම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් සහ කදිම විසඳුමක් දෙන්න පුළුවන්. මෙම පොහොර යොදා ගැනීමෙන් අපේ ගෙවත්තට අපේ ප්‍රජාවට වස විසෙන් තොර පලබර පලදාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසාම මේ පොහොර ඕනෑම කෙනකුට නිර්දේශ කරන්නට පුළුවන්. මෙම පොහොර නිෂ්පාදනයේදී අපගේ ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතුමයි. එතුමා සොබාදහමට, පරිසරයට, කෘෂිකර්මාන්තයට මෙන්ම රටේ සංවර්ධනයට සෘජුව දායකත්වය දී කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසාම ඒ උපදෙස්, අනුශාසනා මෙන්ම අනුග්‍රාහක දායකත්වය ද අපට ඉතා හොඳින් ලැබෙනවා.” නිල්වල මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳවයි. සැබෑවටම පිටිපන ගොවිපළෙහි ගොටුකොළයක් අල්ලක තරම් ප්‍රමාණයක් විශාල වෙන්නේ මෙම පොහොර යෙදීමෙන් පසුව බව ඔහු පවසයි. ඊට කදිම සාක්ෂි දැන් අප ඉදිරියේ දක්නට ඇත.

“මෙම පොහොර පිළිබඳව විශ්වාසනීයව සනාථ කරන්නට අපට පුළුවන්. ඒ සදහා ඉතාමත් ප්‍රමිතියෙන් යුතු පර්යේෂණාගාර අප සතුයි. ඒ නිසාම මෙම පොහොර නියමිත ප්‍රමාණයට නියමිත පරිදි යෙදීමෙන් ඔබේ ගෙවත්තට ඔබේ වගාවට අලුත් මුහුණුවරක් ලැබෙන බවට අපට විශ්වාසයෙන් කියන්නට පුළුවන්. එහෙත් මේ වන විට තවමත් අපි වාණිජ මට්ටමෙන් මෙම පොහොර නිෂ්පාදනය අරඹා නැහැ. එහෙත් අවශ්‍ය කෙනකුට අවශ්‍ය තරමට පොහොර දෙන්නට අපට පුළුවන්. තව නොබෝ දිනකින් පිටිපන අලුත් කර්මාන්ත ශාලාවෙන් මෙම පොහොර නිෂ්පාදනය අපි ආරම්භ කරනු ලබනවා. දැනට ඉතා සීමිත ප්‍රමාණයක් තෝරා ගත් ගොවිපළවල්වලට පර්යේෂණ කටයුතු සඳහා අප විසින් ලබාදෙනවා. එම පර්යේෂණ සාර්ථක වෙමින් මෙම පොහොර සඳහා විශාල ඉල්ලුමක් අපට ලැබී තිබෙනවා. ඒ නිසාම ආණ්ඩුකාරතුමාගේ මඟපෙන්වීම යටතේ, ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය තව නොබෝ දිනකින් වාණිජ මට්ටමින් පවත්වාගෙන යෑමට අප කටයුතු කරනු ලබනවා. ” ලේකම්වරයා පවසන්නේ ඔහුගේ අනාගත සැලසුම් පිළිබඳවයි. මේ වන විට පිටිපන භූමියෙහි නව ගොඩනැඟිලි, නව පර්යේෂණාගාර, නව යන්ත්‍රෝපකරණ සවි වෙමින් ඉදි වෙමින් පවතී. මෙම යන්ත්‍රෝපකරණ හරහා හෙට දිනයේ නව දියර පොහොර විශාල වශයෙන් නිෂ්පාදනය වනු ඇත. එම නිෂ්පාදනය හරහා රටේ නිෂ්පාදනයට, කෘෂි කර්මාන්තයට නව පණක් ලැබෙනු ඇත. වස විසෙන් තොර පලබරින් පිරි හෙට දවසක් වෙනුවෙන් මෙම දියර පොහොර පසට එක් කරනු ඇත. රාජ්‍ය වගකීමක් සහිතව වෙළෙඳපොළට එක්වන මෙම පොහොර කාබනික වගාවේ නැවුම් වෙනසක් ඇති කරනු ඇත.

ඉහළ ඵලදාවක් ලබා දෙමින් ඉතා සරුවට වැඩෙනා මේ නව කාබනික පොහොර යෙදූ ශාකවලින් තද කොළ පැහැයක් සේම ඉතා ඉහළ නීරෝගි බවක් ද දැකිය හැකි වේ. ඉන් නිතැතින්ම විවිධ ලෙඩ රෝගවලට සාර්ථකව එම ශාකවලට මුහුණදිය හැකි බව පෙ‍න්වයි. එය ගොවියාට තවත් සහනයකි. ඒ නොයෙක් විස රසායන යොදමින් වගාවන්ට වැලඳෙන නොයෙක් රෝගවලට පිළියම් යොදන්නට වැය වන මුදල් කන්දරාව මේ නිසා ගොවියාට ඉතිරි වේ. එසේම වාර්ෂිකව ඒවා පිටරටින් ගෙන්වීමේදී ඒ ඒ රටවලට ඇදී යන මුදල් කන්දරාව ද මෙරට ඉතිරි වන්නේ විවිධ රසායනික ‍පොහොරවලට හැඩගැසී ඒවා නොයොදා වගා කළ නොහැකි තත්ත්වයට හැඩගැසී තිබෙන මෙරට සරු පස ද නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට මඟ පාදා දෙමිනි.

ඒ සඳහා වන වැඩිදුර විමසීම් උදෙසා බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 0112 092654 දුරකතනයට කතා කළ හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *