මිහිලක් දියර පොහොර

posted in: Uncategorized | 0

මෙරටට වාර්ෂිකව පොහොර ආනයනයට ඉතා විශාල මුදලක් වැය වේ. ඒ මුදල් කන්දරාව රටේ සංවර්ධනයට යොදා ගත හැකි වේ නම් එයින් රටට ඉමහත් සෙතක් සැලසෙනු නොඅනුමානය. සැබැවින්ම බස්නාහිර පළාත මෙරට ආර්ථිකයේ හදවත වැනිය. රටට විදේශ විනිමය ගෙනෙන අපනයන සැකසුම් කලාප අති බහුතරයක් පිහිටා ඇත්තේ එහිය. එපමණක් නො‍වේ, අති විශාල ජනතාවක් රැකි රක්ෂා සඳහා එක්රොක්ව සිටින්නේ කොළඹ, ගම්පහ ඇතුළු එම පළාතේ දිස්ත්‍රික්කවලය. ඒ නිසාම බස්නාහිර ඉහළ ජන ඝනත්වයකින් යුක්ත අතර එහි වගා බිම් ප්‍රමාණය ඉතා සීමිතය.

කාබනික පොහොර ඉවතලන ද්‍රව්‍ය යොදා ගෙන ප්‍රතිඵලදායක අන්තර්ජාතික ප්‍රමිතිගත කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලබයි.එනම් වස විස නැති කාබනික ගොවිතැනට මේ අලුත්ම ප්‍රතිඵලදායක නිමැවුම එක් කරනු ලබන්නේ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසිනි.

ආණ්ඩුකාරවරයාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මනා පර්යේෂණවලින් ප්‍රතිඵල තහවුරු කරන ලද මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනයෙහි සියලු පර්යේෂණ සහ මෙහෙයුම සිදු කරනු ලබන්නේ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේය.

ඒ සඳහා දැන් නව කර්මාන්ත ශාලාවක් මීගමුව, පිටිපන පිහිටි ජලජීවී වගා සංවර්ධන ව්‍යාපෘති භූමියේ පිහිටුවා ඇත. මේ සඳහා යොදා ගන්නා සියලු අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය වර්ග වේ. එමඟින් දැනටමත් විවිධ බෝග වගා සඳහා අවශ්‍ය කරන ගුණාත්මක බවින් ඉතා ඉහළ කාබනික දියර පොහොර නිෂ්පාදනය කෙරේ.

ඉතා නවීන පර්යේෂණාගාරයකදී නිරන්තර විද්‍යාගාර තත්ත්ව පරීක්ෂණ යටතේ මෙහි තත්ත්වය සහතික කෙරේ. එසේම එහි ආදර්ශ ගොවිපළ හරහා විවිධ එළවළු, පලතුරු, විසිතුරු ශාක ආදිය යොදා ගනිමින් කළ නිරීක්ෂණවලින් මේ නව කාබනික දියර පොහොරෙහි ඉහළ ප්‍රමිතිය තහවුරු වී තිබේ. ඒ අනුව දැනට ලැබෙන පලදාවට වඩා 25%-50%ත් අතර ඉහළ පලදාව මෙම දියර පොහොර එක් කිරීම හරහා සපයා ගත හැකි බව එම පර්යේෂකයන් තහවුරු කොට තිබේ. දියර වශයෙන් පමණක් නොව, කැට වශයෙන් ද මේ නව කාබනික පොහොර ප්‍රභේදය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

ඒ සඳහා වන වැඩිදුර විමසීම් උදෙසා බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ 0112 092652 දුරකතනයට කතා කළ හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *